ඡන්දය කලාකරුවන්ට

මේක මම අහපු කතාවක්….

ඔන්න එකමත් එක රටක (ලංකාවෙ නෙවෙයි) හිටපු මහා සංගීතඥයෙක් දවසක් එයාගෙ යාළුවෙක් එක්ක පාරෙ යද්දි ඒ රටේ රජතුමා අස්ස කරත්තයකින් එතනින් ගියාලු. සංගීතඟඥයගෙ යාළුවා පාරෙ අයිනට වෙලා ඔළුව නමලා ආචාර කලත් සංගීතඥයා ගානක්වත් නැතිව ගනන් ගන්නෙවත් නැතිව තමන්ගෙ ගමන ගියාලු.

කරත්තය නොපෙනී ගියාට පස්සෙ අර යාළුවා සංගීතඥයගෙන් ඇහුවලු ඇයි ඔයා රජතුමාට ගෞරව නොකලෙ කියල. එතකොට සංගීතඥය කිව්වලු ආ.. ඒක ප්‍රශ්ණයක් නෑ… එයා මාව දන්නව කියල

ඒ කියන්නෙ ඒ දවස් වල කලාකරුවො කියන්නෙ පාලකයන්ටත් ඉහලින් හිටපු අය.

ඒකට දැන් ඉන්න අපේ කට්ටිය නේද…

Advertisements

මල්ලිලාගේ ආගමනය

අළුත් පරම්පරාව හැමවෙලේම පරණ පරම්පරාව විස්ථාපනය කරනව. ඒක දෙමාපියන් සහ දරුවන් සම්බන්ධයෙනුත් පාසලක පරණ හා අළුත් නැව් සම්බන්ධයෙනුත් ඒ වගේ පරම්පරා දෙකක් හෝ වෙනත් මට්ටම් දෙකක් ගැටෙන හැම වෙලාවකදිමත් එහෙමයි.

වෙබ් අවකාශයෙදි ඒක ඒ විධියට නොවුණත් යම් යම් විධි වලින් ඒක සිද්ධ වෙන එක වලක්වන්නම බෑ. වෙබ් අවකාශයෙදි කෙනෙක්ට රැඳිල ඉන්න තියෙන හැකියාව තීරණය වෙන්නෙ ඇත්තටම අදාල පුද්ගලයට තියෙන දක්ෂතා මත.

ඒ වුණාට ප්‍රචණ්ඩත්වය සහ සාමාන්‍ය ශිෂ්ඨ බව ඉක්මවපු කෙනෙක්ට වචන වලින් වීරයෙක් වෙලා ඕනම කෙනෙක්ට වඩා රැ‍ඳෙන්න පුළුවන්.

මේ අටුවාවෙන් කිසිම වැඩක් නෑ.

ඔන්ලයින් ජීවිතයම තමාගෙ ජීවිතය කරගත්තු මගේ මිතුරෙක් හිටියා. ඔහු පුසිද්ධ ලාංකික සමාජ අඩවියක පැරණි සාමාජිකයෙක්. මමත් ඇතුළුව තවත් මගේ සමකාලීනයන් ඒ අඩවියේ ක්‍රියාකාරීව හිටපු කාලෙ හිටපු අය දැන් නෑ. ඉන්න අය සේරම අළුත්. ඒ වගේම බොහොම දෙනෙක් හරිම ප්‍රචණ්ඩයි කියල හිතෙනවා එයාලගෙ සිග්නේචර් දැක්කම 😉

මගේ මිතුරා මෑතකදි යම් කරුණක් ගැන වාදයකට පැටලිලා (මම දන්න තරමින් ඔය ඡන්ද කේස් එකක් :P) ඔහු නොසෑහෙන්න නෝන්ඩි වුණා. (මම දන්නෙ නෑ නෝන්ඩි කියන එකට ඒ අදහසම එන වෙනත් සිංහල වචනයක්.) අපි අතරින් වරින් වර හෝ අදාල අඩවියේ රැඳුණ ඒ මිත්‍රයා එදායින් පස්සෙ නැවතුණා.

ඔහු බැණුම් ඇසුවෙ කිසිසේත්ම අදාල නොවන ආකාරයකට. එහෙම වියයුතු ‍දේවල් ඔහු කියා තිබුණෙ නෑ. ඒ වුණාට අළුත් මල්ලිලට ඒවයින් වගක් නෑ. ඔවුන්ගෙ මතය හා එකඟ නොවුණ නම් ඔවුන් අදාල මනුස්සයව කපලම දාන ක්‍රමයක් තමයි තියෙන්නෙ.

මේ පිස්සු මල්ලිල ඇවිත් දන්න මගුලකුත් නැතුව ලොකු පොරවල් වෙලා. උන්ට තාම ඡන්දෙවත් නෑ. ඒ වුණාට ඡන්දෙට මරාගන්නවා.

මගේ මිත්‍රය මට එහෙම කිව්ව.

දැන් ඔහුත් අදාල අඩවියට යන්නෙ හිනාවෙන්න විතරයි. 😀

කා වෙනුවෙන්ද මේ?

මේ දවස් වල පාරෙ යද්දිත් නිකමට හරි රූපවාහිනිය බලද්දිත්, කලාතුරකින් හරි පත්තරයක් බලද්දිත්, ඒ මදිවට අන්තර්ජාලෙ සමාජ අඩවි වල සහ බ්ලොග් අස්සෙ සැරිසරද්දිත් හොඳට හිනා වෙන්න පුළුවන් දේවල් හම්බ වෙනවා. හිනා වුණාට ඇත්තටම අඬන්නයි ඕන. පටු උවමනාවල් වෙනුවෙන් එකිනෙකාව පාවා දෙන, තමන් ආරක්ෂා කරපු ඉතිහාසය විකුණන, කිසිම හැඟීමක් නැති, සාමාන්‍ය මිනිස්සු විධියට හිටිය නම් ගණං ගන්නෙවත් නැති මිනිස්සු දෙන්නෙක්ගෙන් වඩා හොඳ එකාව තෝරගන්න මාර යුද්දෙටත් වැඩි යුද්ධයක්…

මිනිස්සුන්ට මිනිස්සු ගැන හැඟීමක් නෑ කියන එක ප්‍රත්‍යක්ෂ වෙලා බොහොම කල් වුණත් මේ දැන් පවතින්නෙ ඒක තවත් තහවුරු කරගන්න පුළුවන් කාලයක්. හැමෝම තමන් වෙනුවෙන් වැඩ. අනිත් එවුන්ගෙන් වැඩක්ම නෑ. ඒත් මිනිස්සු දන්නෙ නෑ කවුරු දිනුවත් අන්තිමේ පරදින්නෙ තමන් කියල.

දැනගත්තත් මිනිස්සුන්ට කරන්න දෙයක් නෑ.

අන්තෝ වර්ෂා බහි වර්ෂා

ඊයෙ ගෙදර එන එක එපාම වුණා මේ බස් කෙරුවාව නිසා. පැය කීපයක් එන්න තියෙන නිසා මම පිටකොටුවෙන් සැප පහසු රෝසා AC බස් එකක නැග්ගෙ ගෙදර එනකල් හොඳ නින්දක් දාන්න පුළුවන් නිසයි. ඒ වුණාට හවස පිටකොටුවට මාර වැස්ස. බස් එකේ වහලෙ හරස් පටියකින් වැහි බින්දු වැටෙනව. මම හිටියෙ අර පත ඒසී එක යටම නිසා මට අවුලක් වුණේ නැතත් අර වතුර වැටෙන හරියෙ හිටපු මනුස්සය හරිම අපහසුවකට පත් වුණා. මම හිතන්නෙ ඒක බස් එකේ සදාකාලික ප්‍රශ්ණයක් නිසා කොන්දොස්තර අයිය ගාව තිබුණ ලොකු තුවායක් එලල වතුර ඇඟට වැටෙන එක ෂේප් කරගත්තා.

මට ප්‍රශ්ණෙ ආවෙ ඊට පස්සෙයි. ටික දුරක් යනකොට මෙන්න ඒසී එකෙනුත් වහිනවා 😦 බස් එක ලොකු වංගුවක් ගන්නකොට, නැත්තං තිරිංග පාරක් ගහනකොට ඇඟට වතුර බින්දු කීපයක් වැටෙනවා. මට සහ මගේ පිටිපස්සෙ අසුනෙ හිටපු අක්කටයි දෙන්නටම අන්තෝ වැස්සක්. මොනව කරන්නද ගත්ත වීදුරුව ආවරණය කරන්න තියෙන තිර රෙද්ද. ඒකෙ පොටවල් දෙක ඒසී එක දෙපැත්තෙ ඇමිණුවා. දැන් අවුලක් නෑ. වැටෙන තරමක් වැටෙන්නෙ ඒ රෙද්දටමයි. ආයෙත් මම මගෙ සුපුරුදු නින්දට ගියා.

ඒ වුණාට මට ඊට පස්සෙ ගොඩක් වෙලා යනකල් නින්දක් ගියේ නෑ. බස් එකේ කොන්දොස්තරල, රියදුරන් සහ අයිතිකරුවන් බස් එකෙන් එන ආදායම ගැන මිසක් මගීන්ට සැලසෙන සේවාව ගැන හිතන්නෙ නෑ. ඒක ඇත්තටම අපේ රටේ හැම තැනම තිවෙන අවුලක්. අපි මිනිස්සුන්ට ලබල දෙන සේවය හරියට ලබා දෙනව කියල අපි හිතාගෙන හිටියත් ඇත්තටම ඒ මිනිස්සු ඒකෙන් තෘප්තිමත් වෙනවද කියන එක අපි හොයන්නෙ නෑ.

ඒක මටත් පොදු දෙයක්. මගේ රැකියාවෙදිත් මම මේ බස් කොන්දොස්තරට හා රියදුරුට වඩා වෙනස් නෑ නේද කියල මට හිතුණ.

අකුරු සයිස්

දින කීපයක් ‍ගෙදරින් එලියට ගිහින් ඊයෙ රෑ තමයි ආයෙත් සම්ප්‍රාප්ත වුණේ. ආපු ගමන් හෙණ කුරුල්ල අස්සට ගිහින් මේල් ටික බලද්දි මාර සතුටක් දැණුනා. නිදහස් සිංඩියත් වැඩ කරනවනේ 😀 ඒ වුණාට මට නම් යන්න බැරි වුණා. මරණෙටත් යන්න බැරි වීම නිසා ඒක පොදු දායකයක අවුලක් වෙන්න ඇති කියලා open dns ගියත් යන්න නම් බැරි වුණා. සමහර විට ගයාන් තව මොනා මොනා හරි කරනව ඇති කියල හිත හදාගෙන නිදාගත්ත. ඕං දැන්නම් වැඩ.

බ්ලොගින් සහ වර්ඩ් ප්‍රෙස් වැඩිය හුරු දෙයක් නෙවෙයි මට. සිංහල බ්ලොග් කියවනය පුරා කට්ටියව කියවල අඳුනගෙන හිටියට මම මම විදියටම ඉන්නෙ දැන් නිසා පොජ්ජක් උදව්වක එහෙම ගන්න පුළුවන් වෙයි. 🙂 මට මේ default අකුරු ප්‍රමාණය ටිකක් ලොකු කරගන්න පුළුවන්ද? ඒක කරන්න දන්න කෙනෙක් ඉන්නවද? දැනට නම් මම කරන්නෙ මේ අකුරු ටික වටේ span tag එකක් දාල ස්ටයිල් වලින් 1.2em කියල දෙන එකයි. ඒත් ඊට වඩා ලේසි ක්‍රමයක් ඇති නේද?

ලිවීම

ලියන එක මහ කම්මැලි වැඩක්. ඒත කොටන එක ටිකක් විතර ගති. ඒ නිසා ලියන්න ඕන වුණා. බ්ලොග් අස්සෙ එහෙ මෙහෙ කැ‍රකෙද්දි මමත් මොනව හරි ලියන්න ඕන කියල හිති හිතී තිබුණත් ලියන්න නම් වුණේ නෑ. කොහොම වුණත් හැමදාම හිත හිත ඉඳලා හරි යන්නෙත් නැති නිසා ඕන මගුලක් වුණාවෙ කියල ඔන්න ලියන්න ගත්තා හිතෙන අනං මනං සේරම තෝරලා බේරලා ලියන්න බලමු.