
මිඳුල හේවාපක්ස ඈස්ලන්ත පොළොවට අඩිය තිබ්බේය. ඒ අවුරුදු බර ගාණකට පස්සේය. අප්පච්චිලාගේ සල්ලිවලින් යාන්තං ඕලෙවල් කරලා රට පැන්නේ තව ඉගෙනගන්න කියාය. එහේදී එයා කලේ ෆුඩ් ප්‍රොසෙසිං ගැන උපාධියක්ය. ඒකත් අතරමග නතර කර දැම්මත් උන්දෑ හිටියේ එයා තරං ෆුඩ් මාකට් එක ගැන දන්න බුවෙක් නැති ගානටය.
මිඳුලයා අවුරුදු ගාණකට පස්සේ රට අතෑරලා ලංකාවට ආවේ දියුණු වෙන්නය. සාමාන්‍ය මිනිස්සු දියුණු වෙන්න කියා රට ගියාට මිඳුලයා සාමාන්‍ය පොරක් නෙවේය. උන්දෑගේ අප්පොච්චිලා රටේ ලොක්කාට නෑ වෙනවාය. ඒ නිසා මිඳුලයා සුවිශේෂී පොරක්ය.
“ආ….හ්…. කොල්ලා… කෝමද කෝමද… අවුරුදු කීයකින්ද ආ….”
ලොක්කා මිඳුලයාව බදාගත්තේය.
“කොල්ල මහත් වෙලා ඈ…. බය වෙන්න එපා… දැන් තව මහත් වෙන්න පුළුවං”
මිඳුලයා ලොක්කා එක්ක තේ පානය කළේය.
“දැන් පුතා මොනවද කරන්න හිතාගෙන ඉන්නේ…?”
“දන්නෙ නෑ මාමා… මාම ලොක්ක උන ගමන් එන්න හිතාගෙන හිටියෙ… ඒ දවස්වල කෝස් එක කරානේ…”
“පුතා මොනවද කරා කිව්වෙ මේ… මතකත් නෑ මට…”
“ෆුඩ් ප්‍රොසෙසින්… නිව් සීලන්ඩ්නෙ හිටියේ… ඩයිරි ප්‍රඩක්ට්ස් තමයි කරේ”
“ආ.. මේ කිරි සම්බන්ධයෙන් නේද?”
“ඔව් ඔව් කිරි තමා. දොවපු කිරි, කිරිපිටි, චීස්, චොකලට්, යෝගට් ඔක්කොම තමා. ඒ ගැන මොනව හරි බිස්නස් එකක් කරන්න තමා කල්පනාව”
“එළ කොල්ලො එළ… මටත් ඔය පැත්තට බහින්න කරේමයක් නැතිව හිටියෙ. අපි පටංගමු.”
“අළුත් බ්‍රෑන්ඩ් එකක් ගෙන්නන්න පුළුවන්. මම ඒ ගැන එහෙ කම්පැණිය එක්ක කතා කරල ආවෙ. මාමගෙනුත් අහල ඇග්රිමන්ට් එක ගහන්නයි හිතුවෙ. අපිට තියෙන ඔපචුනිටීස් පෙන්නන්න ඕන උන්ට”
“හුම්… දැනටත් අපි දන්න කියන අය තමා බිස්නස් එකේ ඉන්නෙ. ඒ උනාට උන් මට අල්ලන්නෙ නෑ. මොකද උං අනිත් පැත්තටත් සපෝට්. යාළුවො උනාට පවුලෙ අය වගෙ නෑනෙ නේද පුතා.. හෑහ් හෑහ්….”
“ඒක තමා මාමෙ අපි මොකද ඒකට කරන්නෙ? දැනට ලෝකල් ප්‍රඩක්ට්ස්වලට තියෙන්නෙ අඩු මාකට් ෂෙයා එකක්. ඉම්පෝට් කරන ඒව තමා කඩාගන්න ඕන…”
“හරි පුතා…. පුතාල වෙනුවෙන් නොකර රට වෙනුවෙන් කරල වැඩක් තියේයැ… අපි ගෙන්නමු ඕක. ගේන්න කලින් අපේ මාකටින්වලිං අනිත් ඒව වට්ටමු.”
“එහෙම කරන්න පුලුවංද?”
“හයියු… ඕවද අපි නොකරන්නේ… අපිට ඕන මිනිස්සු තියාගන්නයි ඕන නැති අය කපල දාන්නයි අපි දන්නවා. ටීවී චැනල් ටිකයි පත්තර ටිකයි තිබුණම ඇති. පුතා බය නැතිව ඉන්ඩකෝ”
“ඒ උනාට මට අරුන්ට පෟව් කරන්න එපැයි මාමා”
“ඉන්නඩකො පුතා… අපි ටික ටික කතාවක් හදමු. වැඩි ඒව ඕන නෑ. පොඩි පොයිසන් කේස් එකක් පබ්ලික් කරමු. මිනිස්සු දැන් ඕන ලණුවක් කනවා. ඔය ඩොක්කු දෙතුන් දෙනෙක්ට කීයක් හරි දීල ටීවී එකෙන් කතා කරවමු. පත්තරවල උන්ටනං කියන්න දෙයක් නෑ. උන් තමා මුලින්ම ඉල්ලගෙනම ලණුව ගිලින්නේ. ඔය පී.එච්.අයි.ල දාල චෙක් කරල කඩවල් දෙක තුනක් කුඩු කරමු. අපෝ… කොරන්ඩ දේවල්ද නැත්තෙ පුතා…”
ලොක්කා කතා කරගෙන ගියේය.
මිඳුලයාට හරි සන්තෝස හිතුණේය.
කිව්වා වාගේම වැඩේ උනේය.
ඌ මාසෙකට විතර පස්සෙ අළුත් කිරි නිෂ්පාදන පෙළක් හඳුන්වාදුන්නේය.
———————-
මෙය ජෝකර් මල්ලි විසින් රචිත ඔරිජිනල් ජෝකර් මල්ලිගේ විහිළුවක් බව කරුණාවෙන සලකන්න.
Like this:
Like Loading...