රතුපස්වල සීඩී/ඩීවීඩී

the_joker-wallpaper 500

රාජකාරි කටයුත්තක් සඳහා මාතර බලා යන්නට මම පිටකොටුව පෞද්ගලික බස් නැවතුමේ බසයකට නැග සිටියෙමි. බස් රථය පණගන්වා තිබුණු අතර පිටත්වීමට විනාඩි 15ක පමණ කාලයක් ඉතිරිව තිබිණ. කාන්සියෙන් පෙලුන බැවින් නිදිමතක්ද දැණෙමින් පැවති අතර කොන්දොස්තරගෙන් ටිකට් පත මිලදී ගැනීමෙන් පසු නිදාගැනීමට බලාපොරොත්තුවෙන් පසු වීමි. එබැවින් කොන්දොස්තර ටිකට්පත් නිකුත් නොකර බසයට සෙනග පැටවීමට කෑ ගසමින් සිටීම පිලිබඳ මා සිටියේ නොරිස්සුම් සිතිනි.

ඒ අතර බස් රථවලට නැග වෙළඳාම් කරන පුද්ගලයන් කීප දෙනෙකු සිසිල් කල ජල බෝතල්, දොඩම්, රඹුටන් සහ රිදී මාල ආදිය විකුණමින් බසය තුල ගමන් ගත්‍ අතර මා ඒ පිළිබඳ උනන්දු වූයේ නැත. මා ජනේලයෙන් පිටත බලා කල්පනාවකට යොමු වී සිටියෙමි.

එහෙත් බසයට නැගි එක් වෙළෙන්දෙකු හේතුවෙන් මාගේ කල්පනාව බිඳුණි. ඒ වෙළෙන්දා විකිණූයේ සංගත වීඩියෝ තැටිය.

දුර ගමනක් යන්න බස් එකේ නැගල ඉන්න මහත්තුරු නෝනල හැමෝටම දෙවියන්ගෙ රැකවරණය ලැබෙන්න, අදහන බුදුන් දෙවියන්ගෙ ආරස්සාව ලැබෙන්න කිව්වා… මෙන්න නෝනලා මහත්තුරු අළුත්ම වැඩේ අරගෙන ආවා.

හරියටම අවුරුදු හතර පහකට කලින් ඔය නෝනල මහත්තුරු දන්නවා අපේ රණ විරුවො අපේ රට ත්‍රස්තවාදීන්ගෙන් බේරගන්න මහන්සි උන විධිය. අපි හැමදාම ඒක ටීවී එකේ බැලුවා මතක ඇති. අපේ රණවිරුවො දිවි නොතකා ඔය නෝනල මහත්තුරුන්ව ආරස්සා කරන්න යුද්ද කලා මතක ඇති. අපේ දේශ ප්‍රේමී රණවිරුවො අත් පා නැති කරගෙන අපි තමුන්නා‍න්සෙල වෙනුවෙන් දුක් වින්දා මතක ඇති.

ඒ මානුෂික මෙහෙයුමේ ටීවී එකේ නොපෙන්නපු දේවල් අපි ඔය නෝනල මහත්තුරුන්ට ගෙනාවත් මතක ඇති. මම ඒ කාලෙත් බස්වල නැගල නෝනල මහත්තුරුන්ට ටීවීවල පෙන්නුවෙ නැති සීන් තියෙන සීඩී ගෙනත් දුන්නා. ඔය නෝනල මහත්තුරු ඒ දවස්වල රෑට දරු මල්ලො ළං කරගෙන බත් කන ගමන් යුද්දෙ බලන්න ඇති.

ඒ අතීතෙ මතක් කරගන්න නෝනලා මහත්තුරු… ඒ දවස්වල අපිට කෑම නැතත් යුද්දෙ ඕන උනා නේද? අපිට යුද්දෙ ගැන දැනගන්න තියෙන උවමනාව හුස්ම ගන්න එක තරංම වැදගත් උනා නේද? මැච් එකේ ස්කෝර් එක අහනව වගේ අපි පැයෙන් පැය නිවුස් ඇහුවෙ අද කී දෙනෙක් මරා දාලද කියල දැනගන්න නේද? කොටින්ම අපි දේශප්‍රේමයෙන් පපුව පුම්බගෙන අපේ රණවිරුවො ත්‍රස්තවාදියන්ව කපල දාන එක ගැන ආඩම්බර උනා නේද?

ඒ කාලෙ අමතක කරන්න එපා නෝනලා මහත්තුරු. ඒ කාලෙ අමතක වෙන්න දෙන්නෙත් නෑ අපි ඉන්නකල්. අන්න ඒ නිසා තමයි අද මං අපේ රණවිරුවන්ගෙ අළුත්ම වීරෝදාර ක්‍රියාදාම තියෙන රතුපස්වල 1 සීඩී එක ඔය නෝනල මහත්තුරුන්ට ගෙනාවෙ.

වැඩි ගාණක් නෑ රුපියල් දෙසීයයි. දෙසීයකින් අද වේලක් කන්නවත් පුළුවන්ද? බො‍හොම සුළු වියදමක්නේ. අනික රුපියල් දෙසීයට වඩා මේ සීඩී එකේ තියෙන සජීවී දර්ශන වටිනවා. අනිත් වැඩේ තමයි මේ කූපන් එක. මේක අපි දෙන්නෙ නොමිලේ. මේක ළඟ තියාගත්තොත් ඉස්සරහට එන්න තියෙන රණවිරුවන්ගෙ වීර ක්‍රියා සීඩී 5කට සීයට විස්සක වට්ටමක් ගන්න පුළුවන් ඔය නෝනල මහත්තුරුන්ට.

ගන්න ගන්න හැමෝම ගන්න නෝනලා මහත්තුරු. මේ අවස්තාව හැමෝටම නෑ. අද මම සීඩී 40ක් විකුණුවා. තව දහයයි ඉතුරු. වාසනාවන්ත දේශප්‍රේමියො දහදෙනෙක්ට අවස්තාව තියෙනවා. ගන්න මහත්තයා… නෝන ගන්නවද? අද රෑ බත් කන ගමන් දරුවො වටකරගෙන රතුපස්වල වීර ක්‍රියා බලන්න. ආ… ගන්න තව දහයයි. මොකෝ මහත්තයා නිදි? කෝ ගන්නවද?

සීඩී වෙළෙන්දා ක්‍රමයෙන් මා අසලටම විත් කෑ ගැසීය. මම එකවරම ගැස්සී ඇහැරුණෙමි.

කෝ ඔය මහත්තය කොහෙට යන්නද?

කොන්දොස්තර මා වෙත අත පාගෙන සිටී.

මාතරට!

මම පසුම්බියට අත යැවීමි.

———————-
මෙය ජෝකර් මල්ලි විසින් රචිත ඔරිජිනල් ජෝකර් මල්ලිගේ විහිළුවක් බව කරුණාවෙන සලකන්න.

27 thoughts on “රතුපස්වල සීඩී/ඩීවීඩී

  1. හීනයක්ද දැක්කෙ!

  2. මෙය සරල විහිළුවකින් ඔබ්බට ගිය අපූරු ලියවිල්ලකි.

    මගේ ස්තුතිය!

  3. සුපිරි. ජෝකර් මල්ලිගෙ ජෝක් අපූරුයි

    • මගේ ජෝක් නෙවේ මෙයා. එහෙ මෙහෙ තියෙන ඒව සිංහලෙන් කොටනව..

  4. එල කොල්ලො එල.
    තව රසට ලියන්න ශක්තිය පතමි.!

  5. කතාට පින්… පරිවර්ථන නිසා වැඩි අවධානයක් යොමු කලේ නෑ.. පරිවර්ථන අපේ කරලා ලියන්න පුළුවන් කිසි අවුලක් නැතිව. මෙච්චර හොඳ නිර්මාණ කරන්න පුළුවන් නම්.. ජයවේවා..

    • හැම එකක්ම පරිවර්තනේ කරන්න බෑ. ඒව තෝරගත්තෙ නැත්තං ඔරිජිනල් එකට කොච්චර හිනාගියත් පරිවර්තනේ චාටර් වෙනවා.

  6. විහිලුවෙන් කියපු කතාව නම් මසුරන්. මිනිස්සු මෙ විහිලුවට කවද අඩයිද කියල තමයි බලන්න වෙන්නෙ

    • අඬන්න වෙන්නෙ නැති වෙයි. මොකද අඬන්න තේරෙන්න එපැයි.

  7. කතාව දැක්කම දුක හිතුන.

  8. මාර්කටින් ජෝක් ටික හොඳයි. ලංකාවේ යථාර්තය..

  9. මල්ලි මේ විහිළුව ඔයාගෙ නෙවෙයි නේද? මෙතන විහිළුව සපයලා තියෙන්නෙ වෙන වෙන පාර්ශ්ව කියලයි මට හිතෙන්නෙ. කාගෙ වුනත් ඇඬෙන විහිළු කියන්නෙ මේවට තමයි.

    • වෙන වෙන පාර්ශව වල නෝමල් ක්‍රියාකාරකම්වල විහිළුව දැක්කෙ මම!

  10. පස්ට කතාව, කකාගේ පාර දිගේ ආවේ. ජයවේවා

  11. TV Series එකක් වගේ එක දිගටම එයිද දන්නේ නෑ නේ!

  12. ඇඬෙන විහිළු. උඹට ජය වේවා!

  13. Pingback: ගුවන් විදුලි සංස්ථාවේ ප්‍රවෘත්ති ප්‍රකාශයේ හැමදාමත් යන ඇත්ත | Pathula

  14. අහම්බෙන් මේකට අවේ, ලකුණු ගොඩයි.. . . යථාර්තය විහිළුවක්ද විහිළුව යථාර්තයක්ද කියලා හිතාගන්න බැ. . . හැමදාම ලියන්න ඕනේ නැ. ලියන ඒක මේ වගේ හරියට ලියන්න කල් අරගෙන.

Leave a reply to ජෝ Cancel reply